ගීතයක් ගැන කතා කරද්දී සෑමවිටම අපට දක්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් පිටුපස ශබ්ද රසය හා අර්ථ රසයෙන් පරිපූර්ණ වියයුතු බවයි. ඒ අතීතයේ ගීතය ශ‍්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාය. නමුත් රූපවාහිනිය ප‍්‍රචලිත වීමත් සමඟම ගීතය ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය සංසිද්ධියක් බවට ක‍්‍රමයෙන් පත්ව ඇත. ඒ අනුව අද වන විට ගීතයක් ශ‍්‍රව්‍ය, දෘශ්‍ය හා අර්ථ රසයෙන් පර්පූර්ණ විය යුතුය.
ගීතයක් බිහි වන්නේ පද රචකයා, සංගීතඥයා සහ ගායකයාගෙනි. නමුත් රූපවාහිනී විකාශනයත් සම`ග ගීීතය අසා රසවිඳීම වෙනුවට ගීතය බලා රසවිඳීමට රසිකයන් හුරුවිය. ඇතැම් ගීතයක සාර්ථක අසාර්ථකභාවය රූප රචනයෙන් තීරණය වන තරමටම රූපරචනය ගීතය අතික‍්‍රමණය කර ඇති සෙයක් දැනේ.
"විෂුවල් එකනම් පට්ට, විෂුවල් තමා සින්දුවනම් ගතයුත්තක් නෑ" යන වදන් මඟින් නිරතුරුවම පසක් කරන්නේ රූප රචනයෙන් ගීතයේ මුඛ්‍යාර්ථ පරාජය කර ඇති බවකි. ඇතැම් අවස්ථාවල රූප රචනය ගීතයට සාධාරණයක් කරන්නේම නැත. ගීතයේ අර්ථය වෙනුවට රූප රචකයාගේ හිතේ ඇති වෙනත් මොකක්දෝ දෙයක් දෘශ්‍යමාන වේ.
මුල් අවධියේ එනම්, 90 දශකයේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ නිර්මාණයක් වූ යාත‍්‍රා (තාරුණ්‍යයේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ආරාමය) වැඩසටහනත්, නඳුන් උයන වැඩසටහනතත් ගීතය මූලික කරගත් අඟනා රූප රචනා බිහි වූ තිඹිරිගෙයක් විය. එකල ‘ඉවාන් පවුලූෂා’ ගීතයට අඟනා රූප රචනයක් නිර්මාණය විය. අදටත් එය ඉතාම ජනප‍්‍රිය නිර්මාණයකි. ඒත් සමඟම යාත‍්‍රා තුළින් තවත් සාර්ථක ගීත රූප රචනයක් බිහිවිය එනම්, ‘සඳ සාක්කි කියාපුදෙන්’ ගීතයට කල රූප රචනයයි. මෙකල ඉතාම අඩු මට්ටමක වූ තාක්‍ෂණික උපකරණ පැවැති අතර ඒවා මඟින් රූප රචනා කර ඇත. එමෙන්ම නඳුන් උයන තුළින් බිහි වූ "රුක් අත්තන මල මුදුනේ" ගීතය සඳහා බිහි වූ රූප රචනය ද එදා මෙදා තුර බිහි වූ සරල වූත් සුන්දර වූත් රූප රචනාවලින් එකකි. "සකුරා මල් පිපිලා ගේ දොරකඩ" ගීතයේ රූප රචනය ද ඉතා අඟනා රූප රචනයකි.
මෙලෙස ජන්මලාභය ලැබූ රූප රචනා අද වනවිට අනෙක් කලා මාධ්‍යන්ද හසු වූ වානිජමය රැුල්ලට හසු වී අවසන්ය. අද නව පරපුරේ ගීතයක් නම් අනිවාර්යයෙන්ම එය රූප රචනයක් සමඟින් නිර්මාණය වන්නක් වී තිබේ. කෙසේ වෙතත් තවමත් රූප රචනය ගීතයට සාධාරණයක් කරන්නක් වන අවස්ථා ද නැතුවාම නොවේ. රූප රචනය සඳහා දැරීමට වන වියදම සමහර අවස්ථාවල දී දැරිය නොහැකි මට්ටමක වීම නිසා යම් යම් රූප රාමු බද්ධ කිරීම මඟින් රූප රචනයක් නිර්මාණය කිරීම අද වන විට සුලබ වී තිබෙනවා. නමුත් මෙයින් වැඩි ප‍්‍රතිශතයක් කුමක් හෝ හින්දි චිත‍්‍රපටයක, ද්‍රවිඩ චිත‍්‍රපටයක එකිනෙකට නොගැලැපෙන රූප රාමු බද්ධ කිරීමෙන් නිර්මාණය කරනු ලබන රූප රචනා වේ. මෙවන් නිර්මාණවලින් බොහෝ විට ගීතයේ හරයට කරන්නා වූ හානිය අති මහත්ය.
මේ ආකාරයට ගීත රූප රචනා වර්තමානයේ දී නිර්මාණය වන අතර එම ගීත රූප රචනා රසිකයාට සෘජුවම ආමන්ත‍්‍රණය කරනු ලබයි. එම ආමන්ත‍්‍රණ රූප රචනය ඔවුන්ගේ බුද්ධියට නොව ඇස පිනවීමට යොදා ගනී. එම හේතුව නිසා ගීත රූප රචනා අද වන විට ජනප‍්‍රියත්වයට පත්ව ඇත. මෙම ගීතවලට උදාහරණ විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබේ. ඒවායෙහි වචන කිසිදිනක රසිකයාට මතකයේ නොරැදේ. නමුත් ගීත රූප රචනාව හේතු කොට ගෙන එම ගීත රසිකයාගේ මනසෙහි තැන්පත්ව ඇත.
ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment