Friday, July 5, 2019

පරිභෝජන කලාව සහ මාධ්‍යය


          මානවයාගේ පරිභෝජනය සහ මාධ්‍ය අතර සම්බන්ධය නිසා මාධ්‍යවල භාවිත වන සන්නිවේදන ආකෘතිය  වර්තමානයේ දී ප්‍රචාරන ආකෘතියක් බවට පත් ව ඇත. මෙහි දී සන්නිවේදකයා සහ ග්‍රාහකයා යනු එකම පුද්ගලයෙකි. ඒ අනුව මෙම ප්‍රචාරන ආකෘතියේ දී සෑම මාධ්‍යකම අරමුණ වී ඇත්තේ කුමන හෝ උපක්‍රමයකින් ග්‍රාහක ආකර්ශණය, අවධානය අල්ලා ගැනීමයි. මෙම කාරණයේ දී සන්නිවේදනය කරනු ලබන පණිවිඩයේ සත්‍ය අසත්‍යතාවය හෝ කුමක් ද යන වග ද වැදගත් නොවේ. මෙම තත්ත්වය වර්තමාන ජන සන්නිවේදනය තුළ මානවයා මුහුණ දෙනු ලබන බරපතල අභියෝගයක් බව පැහැදිලිය.

         පරිභෝජන ආකෘතිය යොදා ගනිමින් මාධ්‍ය මෙම කටයුතු සිදු කරනු ලබන්නේ ජනප්‍රිය සංස්කෘතිය යනුවෙන් දැක්වෙන ක්ෂේත්‍රය මුල් කරගෙනය. හුදෙක් ග්‍රාහක අවධානය දිනා ගැනීමේ අරමුණින් නොයෙක් මාධ්‍ය වැඩසටහන් ආශ්‍රිතව මතුවන කලාව තුළට මුවා වී පරිභෝජන රටාව ව්‍යාප්ත කිරීමක් සිදු කරයි. විලාසිතා, රුචි අරුචිකම්, හැසිරීම් රටා, පරිභෝජන රටා, විනෝදාස්වාදය ආදිය ජනප්‍රිය සංස්කෘතිය තුළට ඇතුලත් අංග කිහිපයකි. මෙම අංග තුළට විවිධ ජනප්‍රිය පුද්ගලයන් නලු නිළියන් බවට පත් කර, තරුණයන්ගේ මතවාද තුළට ආකර්ශණීය ලෙස පරිභෝජන රටාව ඇද ගැනීම සදහා හැඩකාර දෙවල් මාධ්‍ය මගින් නිර්මාණය කරනු ලබයි. මේ අනුව ලිංග භේදයකින් තොරව මානවයාගේ පරිභෝජන රටාව වෙනස් මානසිකත්වයකට හැඩගැස්වීමට වර්තමාන මාධ්‍ය  සමත්ව ඇත.

       මෙම මාධ්‍ය ආකෘතීන් මෙහෙයවන සහ පර්භෝජන මතවාද ව්‍යාප්ත කරන මාධ්‍ය ජාලයෙන් වැඩි කොටසකට හිමිකම් කියන්නේ ඇමෙරිකානු සමාගම්ය. ඒ අතර General electric, Sony, News Corporation, AT and media, Time Warner ඇතුළත්ය. බටහිර සමාජ ගර්භාෂයේ උපත ලැබුව ද මෙම සංකල්පය ප්‍රවාහයක් ලෙස වර්තමානයේ දී ලෝක සිතියම පුරා පැතිර ගියේ ප්‍රාසාංගිකවය. ආගම්, භාෂා, සංස්කෘතික සීමා ඉක්මවම්න් සියල්ලන්ම සමානුපාතික වෙමින් කිසිදු වෙනසකින් තොරව මුමිබායි, ටෝකියෝ, නිව්යෝරික් ආදී නගරවල මෙන් ම කොළඹ පුරවරයේ ද සැරිසැරිම වෙළදපොළ මාධ්‍ය ප්‍රචාරන ආකෘතිය ලබාගත් විශිෂ්ට ජයග්‍රහනයකට නිදසුන් ලෙස දැක්විය හැකිය.

මෙම සියල්ල සිදු වන්නේ මිනිසා විසින් අද දවසේ ලබා ගත් තාක්ෂණික ජයග්‍රහනය නිසා බව තේරුම් ගත යුතුය. මේ නිසා වෙළද මාධ්‍ය විසින් ප්‍රචලිත කෙරෙන ඉහත කී දෑ පිළිබදව මසැසින් නොව මනසින් සිතා බැලිය යුතුය. මාධ්‍යයන්හි කලාත්මක බව ආරක්ෂා කරන්නට නම් අප මේ පිළිබදව අවබෝධයක් ලබා ගත යුතුය. මානවයාගේ පාරිභෝජන රටාවල මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය යන සාධක පිළිබදව වෙන වෙනම වටහා ගැනීම මනාය. මේ තත්ත්ව තුළ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගින් පැතිරෙන කලාව සහ  පාරිභෝජන රටාව සියුම්ව, අර්ථවත්ව ප්‍රභේද කර වටහා ගැනීම අප සතුය.