Monday, June 10, 2019

රේඩාර් ගැන දැනගනිමු


රේඩාර් කියන්නේ මොනවටද?
      රේඩාර් කිරණ විශේෂයක් භාවිත කරමින් දුරස්ථව පිහිටා ඇති වස්තූන්වල පිහිටීම සහ දුර ප‍්‍රමාණයන් පිළිබඳ තොරතුරු ලබා ගැනිීම සඳහා භාවිත කරනු ලබන ක‍්‍රමයකි. රේඩාර් (RADAR) යන වචනය සෑදෙන්නේ Radio Detection And Ranging හි මුල් අක්‍ෂර එකතු වීමෙනි.

රේඩාර් මූල ධර්මය
         රේඩාර් වලදී භාවිත වන මූලික සිද්ධාන්තය වන්නේ ප‍්‍රතිධිවනිය හෙවත් දෝංකාරය වීමයි.

උදාහරණයක්: ළිඳක් අසලට ගොස් ඔබ ළිඳ තුළට යම් වචනයක් පිිටකළ විට යම්කිසි කාලයකින් නැවත එය ඔබට ප‍්‍රතිනාද වී ඇසේ. මෙම තත්ත්වය ළිදේ ගැඔුර අනුව වෙනස් වේ. ගැඔුරු ළිඳක ශබ්දය නැවත පැමිණීමට වැඩි කාලයක් ලබා ගන්නා අතර ගැඔුර අඩු ළිඳකින් ඊට වඩා අඩු කාලයකින් ශබ්දය අසන්නට ලැබේ.

        රේඩාර් වලදී ද සිදු වන්නේ ද මෙලෙස නිකුත් කරනු ලබන කිරණ විශේෂයක් යම් වස්තුවක් මත වැදී එම කිරණය පරාවර්තනය වී නැවත කිරණය නිකුත් කළ ස්ථානය වෙත පැමිණීමයි. මෙසේ පැමිණෙන කිරණයේ වේගය හා ආපසු පැමිණීමට ගත වන කාලය ගණනය කිරීමෙන් එම වස්තුව පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

රේඩාර් වර්ග මොනවාද?
රේඩාර්වල භාවිත වන ක‍්‍රමයන් අනුව ප‍්‍රධාන වශයෙන් කොටස් පහකට වර්ග කරනු ලබයි.

01. සිම්පල් පල්ස් රේඩාර් 
සාමාන්‍ය සරලව භාවිත කරනු ලබන රේඩාර්  පද්ධතියක් මෙම වර්ගයට අයත් වේ. යම් කාල අන්තරයන් තුළ රේඩාර් කිරණ නිකුත් කරමින් තොරතුරු සෙවීම සිදු කරයි. මෙහි ඇන්ටෙනාව විශාල ප‍්‍රදේශයක් ආවරණය වන ලෙස කරකවමින් භාවිත කළ හැකිය.

02. කන්ටිනියුස් වේව්
මෙවැනි රේඩාර් පද්ධති වලදී කිරණ නිකුත් කිරීම නොකඩවා එක දිගට සිදු වන අතර කිරණ නිකුත් කිරීම සහ ලබා ගැනීම එකම ඇන්ටනාවකින් සිදු නොවේ. අවුල් සහගතව පිහිටා ඇති වස්තූන් සහ චලනය වන වස්තූන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මෙම වර්ගය යොදා ගනී.

03. සින්තටික් ඇපේචර්
මෙම වර්ගයේ රේඩාර් පද්ධතිය භාවිත වන්නේ ගුවන් යානවල ගමන් මාර්ගයන් සහ ඒ ආශ‍්‍රිත තොරතුරු ලබා ගැනීමේ කටයුතු සඳහාය. විශාල දුරකට ගමන් කළ හැකි මෙවැනි රේඩාර් කිරණ විශේෂයෙන් අභ්‍යවකාශ වස්තුන් නිරික්‍ෂණය සඳහා භාවිත කරයි.

04. සෙකන්ඩරි රේඩාර්
මෙම වර්ගයේ රේඩාර් පද්ධතියක තරමක වෙනස් ආකාරයකට නැවත කිරණ ලැබීම සිදුවන අතර ගුවන් යානා පාලනය කිරිම සහ හැසිරවීම සඳහා භාවිත කරයි.

05. පේස්ඩි ඇරේ
බොහෝ රේඩාර් පද්ධතිවල මෙම ක‍්‍රමය භාවිත කරනු ලබයි. විශේෂයෙන් එක් නියමිත ස්ථානයක පිහිටුවා තිබෙන ඉතා විශාල ඇන්ටනාවක් මඟින් කිරණ නිකුත් කරමින් සහ ලබා ගනිමින් තොරතුරු ගවේෂණය කරයි. එක් ඇන්ටනාවක් තුළ කුඩා ඇන්ටනා කිහිපයක් ද සවිකර ඇත.

රේඩාර් ඉතිහාසය
වර්ෂ 1860
ජාතික භෞතික විද්‍යාඥයකු වන ක්ලාක් මැක්ස්වෙල් විසින් මුල්වරට රේඩියෝ තරංග පිළිබඳ අනාවැකි ඉදිරිපත් කරන ලදී.

වර්ෂ 1904
මෙම රේඩියෝ තරංග උපයෝගි කරගෙන මුල්වරට ජර්මන් ජාතික විද්‍යාඥයකු වන ක‍්‍රිස්ටියන් හුල්සමියර් විසින් නෞකා හඳුනාගැනීම සඳහා උපකරණයක් සාදන ලදී. මෙහි දී භාවිත කළ හැකි වූ උපරිම දුර වූයේ කිලෝමීටර 1.5 කි.

වර්ෂ 1922
ඉතාලි ජාතික මර්කෝනි විසින් අඩු සංඛ්‍යාතයකින් යුතු රේඩාර් පද්ධතියක් සකස් කරන ලදී.

වර්ෂ 1922
ගුවන් යානා හඳුනා ගැනීම සඳහා භාවිත කළ මුල්ම රේඩාර් පද්ධතිය වොෂින්ටන් නුවරදී ක‍්‍රියාත්මක කරන ලදී.

වර්ෂ 1922
දෙවන ලෝක යුද්ධ සමයේ දී රේඩාර් භාවිත කිරීම කැපී පෙනෙන අතර යුදමය අවශ්‍යතා හේතුවෙන් රේඩාර් තාක්‍ෂණය ද සීඝයෙන් දියුණු විය. මෙහි දී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ආදී රටවල රේඩාර් පද්ධති ඉතා දියුණු මට්ටමක තිබී ඇත.

වර්ෂ 1947
ඇමෙරිකානු ජාතික රථවාහන ඉංජිනේරුවෙකු වෙන ජෝන් බාර්කර් විසින් මුල්වරට රේඩාර් උපයෝගී කොට වේගයෙන් ගමන් කරන වාහනයක වේගය මැනීමට හැකි බව සොයා ගන්නා ලදී.

වර්ෂ 1950
පොලිස් නිලධාරින් රථවාහනවල වේගය මැනීම සඳහා රේඩාර් ක‍්‍රම සහිත උපකරණ යම් යම් අවස්ථාවලදී භාවිත කිරීම මුලින්ම ආරම්භ විය.

වර්ෂ 1980
රථ වාහනවල වේගය මැනීමේ උපකරණ ප‍්‍රධාන වශයෙන් සහ නිවැරදිව කිරීමට පටන් ගැනිණි.

රේඩාර් භාවිත කරන්නේ මොනවටද?
  • රේඩාර් විවිධ කාර්යයන් සඳහා නොයෙකුත් අංශවලදී භාවිත කරනු ලැබේ. ප‍්‍රධාන වශයෙන් ගුවන් නියමුවන්ට සහ නාවිකයන්ට ගුවනේ සහ මුහුදේ ගමන් කිරීමේ දී ගමන් මාර්ගයන් සොයා ගැනීමටත් එම යාත‍්‍රාවල ගමන් කිරීම පිළිබඳ තොරතුරු අදාළ පාලන මැදිරි වලට දැන ගැනීමටත් රේඩාර් භාවිතවෙයි.
  • විශේෂයෙන් ගුවන් ගමන් සියල්ලම පාලනය වන්නේ මෙම රේඩාර් භාවිතයෙනි. ගුවන් යානා ගොඩ බැස්සවීම සහ ගුවනට නැංවීම යන කාරණා වලදී රේඩාර් මඟින් ඉටු වන්නේ මහත් සේවාවකි.
  • විශේෂයෙන් හමුදාමය කටයුතු වලදී ද මෙම රේඩාර් නැතුවම බැරිය. සතුරු යාන හෝ සතුරු නාවික යාත‍්‍රාවල ගමන් පිළිබඳ තොරතුරු ලබා ගන්නේ මෙම රේඩාර් භාවිතයෙනි.
  • මීට අමතරව කාලගුණ නිරීක්‍ෂකයින් ද කාලගුණ අනාවැකි ප‍්‍රකාශ කිරීම සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ රේඩාර් වල සහයයි. විශේෂයෙන් වැහි වලාකුළු පිහිටීම අනුව වැසි ලැබෙන ප‍්‍රදේශ පිළිබඳ තොරතුරු සහ සුළි සුළං තත්ත්වයන් වැනි අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්නේද රේඩාර්වල උපකාරයෙනි.

රේඩාර් මගින් ලබා ගත හැකි තොරතුරු
රේඩාර් කිරණ මඟින් යම් වස්තුවක් පිළිබඳ තොරතුරු රාශියක් ලබා ගත හැකිය.
x වස්තුව පිහිටා ඇති දුර
x වස්තුවේ ප‍්‍රමාණය
x එම වස්තුවේ හැඩය
x ගමන් කරන වස්තුවක නම් එහි වේගය
x ගමන් කරන දිශාව

                           ඒ.එම්. ප්‍රදීපා සී. අත්තනායක
                           ජන සන්නිවේදන අධ්‍යයන අංශය
                           කැලණිය විශ්වවිද්‍යාලය

                

No comments:

Post a Comment