Thursday, June 27, 2019

සන්නිවේදන නිර්වචන


මිනිසා සාමූහික සත්ත්වයකි. සාමූහිකත්වයෙන් තොරව මිනිසාට පැවැත්මක් නැත. සාමූහික පැවැත්මක් සඳහා එකඟතා, සම්මුතීන්, තේරුම් ගැනීම් යනාදී බොහෝ සාධක අවශ්‍ය වේ. දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් අතර මෙම ක‍්‍රියාවලිය සිදු වන්නේ කෙසේද? එනම් තේරුම් ගැනීම සිදුවන්නේ කෙසේද? එකඟතා ඇති වන්නේ කෙසේද? සම්මුතීන් ගොඩනැගෙන්නේ කෙසේද? යන සියලූ දැ වර්ධනය කරමින් සන්නිවේදනය සිදුවේ. එනම් කුමන හෝ අදහස් හුවමාරුවක් සිදුවන බවයි. 
එක් පුද්ගලායකුගේ සිතේ පහළවන සිතුවිල්ලක් තවත් පුද්ගලයෙකුට ප‍්‍රකාශ කළ පසු දෙදෙනාම ඒ සිතුවිල්ල දරන්නන් බවට පත්වේ. සමාජයක් තුළ පවතින සියලූ එකඟතා, බැඳීම්, සම්මුතීන් හා තේරුම් ගැනීම් ඉහත ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයන්ය. අප සන්නිවේදනය ලෙසින් හඳුන්වන්නේ ඉහත අදහස් හුවමාරු කර ගැනීමේ ක‍්‍රියාවලියයි. 
සන්නිවේදනය යන්නට ඉංශ‍්‍රිිසියෙන් යොදන communication යන පදය ඉහත අරුත පදනම් කරගෙන ගොඩනැගුණකි. common යනු පොදු යන අර්ථයයි. ලතින් බසින් munsi යනු යමක් සිදුකරන්නා යන අර්ථයයි. ඒ අනුව communication යන පදය නිර්මාණය වී ඇත්තේ අදහස් පොදු බවට පත් කිරීමේ ක‍්‍රියාවලිය වන අර්ථයෙන් බව පැහැදිලිය. 
ඉහත අදහස තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා සන්නිවේදන විද්‍යාඥයින් විසින් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති විවිධ නිර්වචන අපට අධ්‍යයනය කළ හැකිය.

‘කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යකින්, කවරෙකුට, කිසියම් බලපෑමක් ඇති කිරීම සඳහා ප‍්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි
                      -හැරල්ඞ් ඞී ලැස්වෙල්-

“එක් මනසකින් තවත් කෙනෙකු තුළ බලපෑමක් ඇති කරන සම්පූර්ණ ක‍්‍රියාවලිය සන්නිවේදනයයි”
                      -වොරන් වීවර්-

“සන්නිවේදනය යනු එක් අයෙකු හෝ කීප දෙනෙකුගේ ඒකාධීකාරයට යටත් වූ අදහස් දෙදෙනෙකුගේ හෝ වැඞී දෙනෙකු අතර පොදු බවට පත් කර ගැනීමයි”
                     -ඇලෙක්සැන්ඩර් බෝඞ්-

“සන්නිවේදනය යනු, යම් තැනක නිර්මාණය වූ තෝරාගත් පණිවුඩයක් වෙනත් තැනක දී ඒ ආකාරයෙන්ම ප‍්‍රතිනිර්මාණය කිරීමයි”
                      -ක්ලෝඞ් ෂැණන් හා වොරන් වීවර්-

“සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සම්බන්ධතා ජාලයයි. චර්යාවට අදාල සෑම සංස්කෘතික රටාවක්ම සහ සමාජ චර්යාවට අදාල සෑම ක‍්‍රියාවක්ම සෘජවම හෝ වක‍්‍රව සන්නිවේදනයට සම්බන්ධකමක් ඇත”
                                     -එඞ්වඞ් සැපීර්-

“තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි”
                           -විල්බර් ශ‍්‍රාම්-

“වාචිකව හෝ ලිඛිතව හෝ සලකුණු මගින් හෝ අදහස්, දැනුම, තොරතුරු පළ කිරීම, බෙදා දීම, බෙදා හැරීම සහ ව්‍යාප්තිය සන්නිවේදනය නම් වේ”
                            -ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂය-

 ඉහත නිර්වචන සකලවිධ සන්නිවේදන ක‍්‍රියාවලීන් හැදැරීමට යොදා ගත හැකිය.

        ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
        ජන සන්නිවේදන අධ්‍යයන අංශය
        කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment